Wednesday 19 April 2023

දේශගුණික වශයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල වායව අතු බැඳීමේ තාක්ෂණය (ලේයර් ක්‍රමය) මඟින් රෙඩ් ලේඩි වර්ගයේ පැපොල් පැල නිපදවීම

 ශ්‍රී ලංකාවේ දේශගුණික වශයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල දේශගුණ සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් සහ තාක්‍ෂණය භාවිතා කරමින් රෙඩ් ලේඩිපැපොල් වගාව සිදු කරන ගොවිමහතෙකුගේ සාර්ථකත්වය

රෙඩ් ලේඩිපැපොල් දෙමුහුන් ප්‍රභේදයකි. සාමාන්‍යයෙන්, එය නිවර්තන කලාපවල වර්ධනය වේ. රෙඩ් ලේඩිගස්ලබු ගෙවත්තේ පවා වගා කළ හැකිවන අතර හොඳ ලාභයක්  සහිතව අඛණ්ඩ අස්වැන්නක් ලබාදෙන හොඳ රසවත් පලතුරකි. ඒ අනුව, දේශගුණ සුහුරු කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කරමින් වායව අතු බැඳීමේ ප්‍රචාරණයෙන් මෙම රෙඩ් ලේඩිගස්ලබු වගාව සහ නිෂ්පාදනය නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ කෝමාරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෝමාරි – 01 ග්‍රාම නිලධාරී වසමේ ගොවියකු වන සිවකරන් සහ ඔහුගේ බිරිඳ සුමිත්‍රාදේවි විසින් සාර්ථකව සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ රෙඩ් ලේඩිපැපොල් දෙමුහුන් බීජවල මිල සාපේක්ෂව අධිකය. එමෙන්ම රෙඩ් ලේඩිපැපොල් බීජ වෙනත් රටවලින් ආනයනය කරන අතර එය සෑම ගොවියකුටම ගෙවතු වගාවට අවශ්‍ය කුඩා ප්‍රමාණවලින් ලබාගත නොහැක. මෙම ගොවි මහතා විසින් වායව අතු බැඳීමේ තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව ගස්ලබු පැල ප්‍රචාරණය සිදු කරයි. අම්පාර ප්‍රදේශයේ මෙම ගොවි මහතා ඉතා අඩු වියදමකින් ශාකමය ප්‍රචාරණයෙන් එක් 'රෙඩ් ලේඩි' පැපොල් ගසකින් පැළ රැසක් නිෂ්පාදනය කළ හැකි බව සහ වර්ධක ප්‍රචාරණය, වගාව සහ 'රෙඩ් ලේඩි' පැල නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය, නැඟෙනහිර පළාතේ අප ව්‍යාපෘති ක්‍රියාකාරකම් වල ප්‍රගතිය නැරඹීමට ගිය අවස්ථාවේදී ලෝක බැංකුවේ සහ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ නිලධාරීන්ට සහ සෙසු ගොවීන්ට පැහැදිලි කළේය.

 එක් රෙඩ් ලේඩිපැපොල් පැළයක මිල රුපියල් 250 ක් පමණ වනු ඇත. එසේම එම බීජය භාවිතයෙන් රෙඩ් ලේඩිපැපොල් පැළයක් සකස් කර ගැනීමට (අඩි 1ක් උසට වැඩීමට) අවම වශයෙන් මාසයක් ගත වේ. නමුත් ඉතා සරල තාක්‍ෂණයෙන් කෙනෙකුට වායව අතු බැඳීමේ තාක්ෂණය භාවිතා කර දින පහළොවක් පමණ ඇතුළත තම ගෙවත්තේ විශිෂ්ට, සෞඛ්‍ය සම්පන්න, ‘රෙඩ් ලේඩිපැපොල් පැළ නිෂ්පාදනය කළ හැකිය.

‘රෙඩ් ලේඩි’ පැපොල් වායව අතු බැඳීමේ තාක්ෂණය
ගෙවත්තේ ‘රෙඩ් ලේඩි’ ගස්ලබු ගසේ උඩ කොටස (රිකිල්ල) කපා දැමිය යුතුයි. ඉන්පසු කපා දැමූ ‘රෙඩ් ලේඩි’ පැපොල් ගස ප්ලාස්ටික් බෝතලයකින් ආවරණය කරන්න. එය ආවරණය කිරීමේ අරමුණ වන්නේ කපා දැමූ ‘රෙඩ් ලේඩි’ ගස්ලබු ගසේ කඳට වැසි ජලය හෝ වෙනත් ජලය ඇතුළු වීම වැළැක්වීම සහ දිලීර ආක්‍රමණය වැළැක්වීමයි.

මේ ආකාරයට ගස්ලබු ගසේ ඉහළ කොටසේ (රිකිල්ල) වැඩෙන කොටස කපා බෝතලයකින් ආවරණය කළ පසු ගස්ලබු ගසේ පැත්තෙන් අතු එන්නට පටන් ගනී. මෙයින් අදහස් කරන්නේ පාර්ශ්වීය අංකුරයෙන් විවිධ ශාඛා ඇති වන බවයි. අලුතින් සෑදුණු අතු ඇඟිල්ලක් පමණ විෂ්කම්භයට වැඩුණු පසු කුඩා කැපුමක් කළ යුතුය. කුඩා කප්පාදුවක් සිදු කිරීමෙන්, මව් ගස සහ නව ශාඛාව අතර අර්ධ සම්බන්ධතාවයක් ඇති කළ හැකිය. කුඩා කැපුමක් කළ පසු මවු ගස සහ අතු අතරේ කුඩා පොලිතින් කොළ කැබැල්ලක් තැබිය යුතු අතර එමඟින් ඒවා එකිනෙකට එකතුවීම වලකී. ඉන්පසුව අතු ප්‍රදේශයේ කැපූ කොටස වැසෙන සේ කොම්පෝස්ට් සහ කොහුබත් සහිත පොලිතින් කැබැල්ලකින් ආවරණය කළ යුතුය. මෙහිදී පස් වෙනුවට කොහුබත් භාවිතය ඉතා ඵලදායී වේ. මේ ආකාරයට සතියකට වරක් වතුර දැමූ විට දින 15කින් නව අත්තෙන් මුල් මතු වේ. එසේම, මුල්වල වේගවත් වර්ධනය සඳහා කැපූ කොටසෙහි ඉන්ඩෝල් බියුටිරික් අම්ලය (IBA)(රූටෝන්) යෙදිය යුතුය.

 දින 15 කට පසු, මුල් වර්ධනය වී ඇති ශාඛාව (බීජ පැළය) කපා වෙන් කර පොලිතින් බඳුනක (එය විකිණීමට තිබේ නම්) හෝ පොළවේ නම් සෙවණ යට‌ෙත් දින 10 ක් පමණ තැබිය යුතුය. ප්‍රමාණවත් තරම් මුල් ඇති වූ පසු, පොලිතීන් බඳුන ඉවත් කළ හැකිය. තවද පතුලේ සිහින් කැපුම් සිදු කළ විට මුල් වර්ධනය උත්තේජනය වන අතර මුල් පද්ධත්ය හොඳින් වර්ධනය වේ. මේ නිසා තද සුළඟක් හමන විට ගස කැඩී නොයයි. ායව අතු බැඳීමේදී පැළයේ විශේෂත්වය වන්නේ එය මාස තුනක කාලයක් තුළ පොළවේ සිට සහෝ අඩි දෙකක් පමණ දුරින් ඵල දැරීමට පටන් ගැනීමයි. බීජ මඟින් නිපදවන ශාකයක ගෙඩි හට ගැනීම සිදුවන්නේ වසරකට පසුව වන අතර එවිට ගසේ උස අඩි 5 ක් පමණ වේ. අලුත් රෙඩ් ලේඩිපැපොල් ගසක සෑම ගෙඩියක්ම කිලෝ 1 – 2 1/2 පමණ බරින් යුක්ත වේ. රෙඩ් ලේඩිපැපොල් ගස් 15ක් තිබීමෙන් මසකට 20,000 කට ආසන්න මුදලක් උපයා ගත හැකි බව ගොවියා සිනාමුසු මුහුණින් පැවසීය.

 මෙහි ඇති වැදගත්ම දෙය නම් නව පැපොල් පැළය, පලතුරු රසය ආදියෙහි කිසිදු වෙනසක් නොමැතිව මව් ගසට සමාන ලක්ෂණ වලින් යුක්ත වීමයි. එසේම අඛණ්ඩ ආදායමක් ලබා ගැනීමට කෙටි කාලයක් තුළ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙම රෙඩ් ලේඩිපැපොල් ගෙඩිය අනෙකුත් පැපොල් පලතුරු මෙන් නොව මිහිරි රසයකින් යුක්ත වන අතර ඕනෑම අයෙකුට පැමිණ මිලදී ගත හැකි වෙළෙඳ පොළ අවස්ථාවක් ද ඇත.

'රෙඩ් ලේඩි' පැපොල් වායව අතු බැඳීම මඟින් ලැබෙන ප්‍රතිලාභ
·        මෙම පැල මගින් නිර්මාණය කරන ලද ගසකික් අඩි 1 ½ - 2 උස සිට අඛණ්ඩව අස්වැන්න ලබා ගත හැකිය.
·         රෙඩ් ලේඩි පැපොල් ගෙඩියේ මිහිරි රසය අඛන්ඩව පවත්වා ගත හැකි වීම.
·        පලතුරු අස්වැන්න නෙළීමේදී සිදුවන අපහසුතාවය හා අස්වැන්නට වන හානිය සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැක.
·        භෞතිකව පලිබෝධ මර්ධනය කර ගත හැකි වීම.
·        ගසේ කෙටි උසකින් ගෙඩි ලබා ගත හැක.
·        එක ගසකින් රෙඩ් ලේඩිපැපොල් පැළ කිහිපයක් එකවර නිපදවිය හැක.

රචනය - ෂර්මිලා තිර්හිහරන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සංවර්ධන නිලධාරී, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය, දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය
ඡායාරූප සහ තොරතුරු - ටී.සේකරන් - සමාජ ආරක්ෂණ නිලධාරී, සහ පී.සායි පුරුෂෝතමන් , කෘෂිකර්ම පහසුකාරක (කෝමාරි), නැගෙනහිර පළාත,  දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය